ඇය මාතාව


 **************************************

                         ඇය මාතාව

**************************************


                               මගෙ මැණික.....නැගිටින්න පුතේ.....අම්මිට පරක්කු වෙනවනේ....ඔහොම හිටියොත් ඔයාටත් අද ස්කූල් යන්න වෙන්නේ නෑ.....

                 මං පුංචි කාලේ ඉදලා ම ඉස්කෝලේ ගියෙ ස්කූල් වෑන් එකේ.වෙලාවට සල්ලි දෙන්න බැරි වුනත් අංකල් මොකුත්ම අම්මට කිවුවේ නෑ.ඒ මගේ අම්මාට තියෙන ලස්සන පෙනුම නිසාද නැත්තම් තාත්තා කියලා කෙනෙක් මං දැකලා නැති  තරම් අපිට තිබ්බ අසරණකම නිසාද කියන්න එදා මම දැනගෙන හිටියේ නෑ.

                 ඕකිගේ අම්මා හොද එකියක් නෙමෙයි.....

         මං පාරෙ යනකොට කතා වෙච්ච වචන ඇහෙන්න ගත්තට පස්සේ මට හිතුනා අම්මගෙ රූපෙ නිසා අපිට ගොඩක් දේවල් ලැබුණා කියලා.

                 අපේ අම්මා කුලී ගෙයක් අරගෙන මාත් එක්ක කොළඹට ඇවිත් දැන් ගොඩක් කල් වෙනවා.කොච්චර කල්ද කිවුවොත් මගේ තාත්තා මාවයි අම්මවයි ගෙදරින් එලියට ඇදලා දාපු දවසේ ඉදලා.ඒ දවස මගේ මතකයේ නොමැකෙන මතකයක් වන්නට බොහෝ විට ඉඩකඩ තිබුණත්  මා හයහතර නොතේරෙන කුඩා දරුවෙකු වූ ඒ කාලයේ සිදු වූ දෑ මා අසා දැනගත්තේ අම්මාගෙනි.ඒ මගේ තාත්තා පිළිබඳව මා විමසූ වාර ගණන වැඩි වනවාත් සමඟය.දැන් තාත්තා තවත් විවාහයක් කරගෙන ඇති නිසා මට හිතෙන්නේ අපිට පාරට බහින්නට එදා සිදු වූයේ තාත්තාගේ අනියම් සම්බන්ධතාවය නිසාය.

               අම්මේ....හෙට පේරන්ට්ස් මීටින් එකක් තියෙයි කිවුවා.....

               සිනාසී මගේ බෑගය අතට ගත් අම්මා මා ද කැටුව නිවසට ගියාය.

              රැස්වීමට පැමිණි අම්මා ඇදගෙන සිටි සාරියේ වර්ණය මට තාමත් මතකය.එය එතරම් වටිනා එකක් නොවුනද ප්‍රියමනාප ගතියක් ඒ තුලින් දිස් විය.

                  අම්මා වැඩට යන්නේ මේ ලෙසට නොවේ.පුදුමාකාර සූදානමක් සෑම දිනයකම තිබූ බව කිව යුතුය.අම්මා කවදත් මගේ පාසලේ වැඩ කටයුතු සොයා බලන්නට ආවේ මේ ලෙසට ය.

               ඔයාලගෙ අම්මා කොහෙද වැඩ කරන්නේ.......

         දිනක් මා හතර ශ්‍රේණියේ සිටියදී මගේ මිතුරියක් අම්මාගේ සාරිය ලස්සන යැයි පවසා ඇසූ පැනය නිසාවෙන් මා සිතට ද එම පැනය මතු වන්නට විය.

           ලොකු ඔෆිස් එකක් පුතේ කිව්වට ඔයාට තේරෙන්නෙ නෑනේ.....

         අම්මා එවිට එසේ කියා වැඩ කරන ස්ථානය මට කිසිදාක කීවේ නැත.මා බලා ගන්නට නිවසේ කිසිවෙක් නොවන්නට පටන් ගත්තේ මා හය ශ්‍රේණියට පැමිණීමත් සමගය.හොද වෙලාවට මා වැඩිවියට පත් වූයේ පාසලේදී ය.ඒ දිනවල අම්මා වැඩට ගියේ නැති තරම්‍ ය.ඉදහිට අසල්වැසි නැන්දා කෙනෙකුගේ උපකාර ගෙන ඒ නැන්දා අපේ ගෙදරට ආ දාට අම්මා වැඩට ගිය අයුරු මට මතකය.ක්‍රමයෙන් මා වැඩි වියට පත්වන විට මා සදහා වූ අවශ්‍යතා ද වැඩි වන්නට විය.කිසිවෙකුගේ සරණක් නොමැතිව සිටි අම්මාට සිටින එකම නෑදෑයා ද හිතවතා ද වටිනා ම වස්තුව ද මා පමණක් ම බව මා දනිමි.අම්මා මා සමඟ රාත්‍රී යාමයේ වැඩි වේලාවක් කතාබහ කරමින් කල් ගෙවන්නට අමතක කළේ නැත.එතරම් සබැඳියාවක් අප අතර ඇති වූයේ අම්මාත් මාත් පමණක් නිවසේ තනිවී සිටින නිසාවෙනි.බොහෝ දුක්බර හැඟුම් ඈ තුළ සිරවී තිබෙන්නට ඇතැයි මා සිතමි.වචනයෙන් නොකියා දිගු සුසුම් තුලින් පිට වූ සිතුවිලි මට එදින නොතේරුනත් අද වැටහෙන්නට පටන් ගෙන ඇත.

                උදෑසන අම්මා කණ්නාඩි මේසය ළඟට වී හැඩ වෙන අපූරුව මා කුඩා කල සිට ම දුටු දෙයකි.නමුත් මා වැඩිවියට පත් වුවද ඒවා අල්ලන්නටවත් මට දුන්නේ නැත.

          හා හා පුතේ.....ඕවා නැතුවට මගෙ කෙල්ල ලස්සනයිනෙ......

          හැමදාම මාව වැලැක්වීමට උත්සහ කලත් මා නිවසේ සිටින විට කරන ලද සෙල්ලම් ගෙවල්වලට ලිප්ස්ටික් ගෑ හැටි මට මතක් වේ.ඇත්තට ම මට මේකප් කරන්න උවමනාවක් දැන් නැත.එය අම්මාගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයක් වූ බැවින් මට එය එපා වන්නට ඇතැයි සිතමි.

             මා පාසල් ඇරී නිවසට පැමිණ පාසලෙන් දුන් වැඩද නිමා කොට නිදහසේ කාලය ගත කරන්නට පුරුදු වී සිටියෙමි.අම්මා පැමිනෙණ විට තරමක් රෑ බෝවන අවස්ථාද විය.එදිනට මා කිසිවක් උයන්නට නොපෙළඹුණි.ඒ මන්දයත් අම්මා එන්නේ රෑට කන්නට යමක් රැගෙන බව මා දන්නා නිසාවෙනි.

            පමා වී නිවසට ආ දාට අම්මාගේ තොල් සායම් පෙනෙන්නට තිබුණේ නැත.විඩාබර මුහුණේ අසරන මෙන් ම මා වෙතට ම එල්ල වූ ආදරණීය බවක් සැමදා ගැබ් වී තිබුණි.කෙදිරිගාමින් බොහෝ වේලා නාන අම්මාගේ හඩ පමණක් සැමදා මට ඇසුණි.මා එය ඇගේ පුරුද්දක් ලෙස දුටුවා පමණි.එහි ගැබ් වූ වේදනාව මට එදින වටහා ගන්නට නොහැකි විය.ඇය ඇගේ දවසේ විඩාව නිවාගන්නට ඇත්තේ හීන් කෙඳිරියක් පිට කරමිනි.

            අම්මා මෙතරම් වෙහෙසී වැඩ කරන්නේ මගේ අනාගතයට බව සිහි වන විට මට මහා ශක්තියක් සිතට නැගෙන්නට විය.ඒ ශක්තිය සිත දරාගෙන මා උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබීමට සමත් කරවීය.එතරම් කැපවීමක් සිතට ආවේ අම්මා නිසාවෙනි.ඒ දිනවල අම්මාගේ සිත තුළ තිබූ ප්‍රීතිය ඇස් වලින් දිස්වන්නට විය.ඒ කාන්තිමත් ඇස් වඩ වඩාත් දිලිසෙන්නට විය.ඒ සතුට ඇයට ගෙන ආවේ මම ය.නොයෙක් අපවාද හමුවේ නොසැලී මා වෙනුවෙන් කැප වූ අම්මා අද දකින විට මගේ සිත නිවී පහන් වේ.

                  සරසවි අධ්‍යාපනය උදෙසා වියදම් පවා අම්මා මා වෙනුවෙන් දැරුවත් මං පාර්ට් ටයිම් කරන්නට හොර රහසේ දින දෙක තුනක් ගිය හ.එය දැනගත් අම්මා හොදටම හැඩුවේ එතරම් දුක් විදලා හොයන සල්ලිවලට වටිනාකමක් දීපන් කෙල්ලේ කියමිනි.මේ කාලය වනතුරු මම අම්මාගේ රැකියා ස්ථානයට ගොස් තිබුණේ නැත.සරසවි වසර කීපය අවසන් කර මා රැකියාවක් සදහා අයදුම් කළ දිනක අම්මා කී වදන්වල අරුත දැන් මට පසක් වී ඇත.

            මං මගේ දුවට මට කරන්න පුලුවන් උපරිමයෙන් කරා.මට වගේ අනාගතයක් දුවට ආයේ උරුම වෙන්නේ නෑ.ලස්සනට ජීවත් වෙන්න පුලුවන්.....

             ඔව් අම්මට වගේ දුක් විඳින ජීවිතයක් මට උරුම වෙන්නෙ නෑ.ඒ අඳුරට ම වැටෙන්න හිටපු මට එළිය පෙන්නුවේ අම්මා ය.ඉතින් ඒ අම්මාව මට කවදාවත් වැරදිකාරියක් වෙන්නේ නෑ.තනි වෙච්ච ගෑනියෙක් වෙලත් අම්මා දෙවෙනි කසාදයක් කරගත්තේ නෑ.ඒ අම්මාට පිරිමි කියන නමත් එපා වෙන්නම තාත්තගෙන් වුණු අඩත්තේට්ටම් නිසාද නැත්නම් මට වෙනස්කමක් වෙයි කියලා අම්මාට තිබුණ බය නිසාද කියන්න දන්නේ නෑ.කොහොම වුණත් අම්මාට මේ තරම් අවබෝධයක් ජීවිතේට ළඟා කරගන්න තවත් විවාහයක් කරගත්තා නම් නොහැකිවනු නොඅනුමානය.

             මගෙ දුවට තාත්තෙක් හිටියනම් කියලා හිතුනද.....

           දිනක් පාසල් ඇරී මා රැගෙන යන්නට කලාතුරකින් පැමිණි අම්මා ඇසුවාය.

           හොද වෙලාවට මට තාත්තෙක් නැත්තේ....එහෙනම් ශෂිනිගේ තාත්තා වගේ බීලා ඇවිත් මටයි අම්මටයි දෙන්නට ම ගහයි.....

           ඒකනේ පුතේ....

           කියමින් නලලත සිඹින අම්මා මට මතකය.මට යමක් කමක් තේරුම් ගන්නට හැකි වූ දා සිට මට නොයෙක් කතා මගතොට උදවිය කියනු ඇසුන ද අම්මාගේ රැකියාව ගැන මට ප්‍රශ්න කරන්නට උවමනාවක් වූයේ නැත.නමුත් මා උසස් පෙළ හදාරන කාලයේ අම්මාගේ රැකියාව දැනගන්නට ලැබුණි.ඊට ටික කලකට පසුව මගේ මිතුරියක් ද මට එය පෙන්වන්නට රැගෙන ගිය දින වැඩි කලබලයක් නොවූයේ එබැවිනි.

             අර බලන්න....දැන් ඔය වීල් එකේ නැගලා යනවා.....

            ඔව් ඔව් මගේ අම්මා ඇග විකුණලා තමා මාව මේ තත්වෙට ගෙනාවේ.ඉතින් මොකද.....

           මට එසේ කියන්නට සිතුනත් මා එය නොකියා හැඬූ සැටි මට මතකය.මා එය දැනගත් නමුත් අම්මාට එය හැඟවෙන්නට ඉඩක් තැබුවේ නැත.

            ප්‍රසිද්ධ බැංකු ශාකාවක කලමණාකාර තනතුර හොබවන මා විවාහ වූයේ එම ප්‍රදේශයේ සහකාර ප්‍රාදේශීය ලේඛම්වරයා සමඟය.සියල්ල සතුටු සිතින් විඳ අම්මා මේ පැමිණ ඇත්තේ කොතනටද.ඇත්තෙන් ම ජීවිතය නිවී සැනසෙන්නේ මෙතනම නොවේද.අප කළ කී දේ හරි වැරදි වටහා ගන්නට කාලය ලබා දෙන්නේ ද තවදුරටත් විය හැකි පවක් ඇත්නම් ඉන් අපව මුදවා දෙන්නේ මෙතන නොවේද.සුදු පිරුවට ඇදගෙන අම්මා අවුරුද්දකටත් අධික කාලයක් ගෙවා දමා අද කහ සිවුරක් පැළඳ දස සිල් මාතාවක් බවට පත්ව ඇත.කළ යුතු සියලු දේ මා වෙනුවෙන් ඉටු කර එතෙක් ඈ දුක්බරව ගෙවූ ගිහි දිවිය මෙසේ නිමා විය.මා නෙත් තෙත් කරවමින් ඇය සුදු ඇඳුමින් සැරසුනද පඬු පැහැ වස්ත්‍ර පළදිනා අද දින මගේ සිත ද නිසසල ව ඒ සිල් මාතාවට වන්දනා කරනු ලබයි.

        

***දුලී ♥️ 

Comments

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸