කටු පදුරෙ පිපි කුසුම 🌵🌸

     
කටු පදුරෙ පිපි කුසුම ♥️
***************************
*****************
*********

                  එදා කුරුල්ලන් කිචි බිචි ගා අවටින් හිරු එළිය විහිදෙන අපූරුව මා විඳි උදෑසනක් නම් නොවේ.ඒ වෙසක් පොහෝ දිනට පසුවදා උදෑසනක් බව මා සිත රැදී ඇත්තේ පොහෝ දා රාත්‍රියේ පැවති පෙරහරක පාසල් නර්තන කණ්ඩායමේ වූ මම ද ඇතුළුව කලගෙඩි න‍ර්තනයේ යෙදී විඩා නිවන්නට දහවල් වනතුරු මා නිදාගත් දිනයක් බැවිනි.

               "සුදූ,නැගිටපන්...." ඒ අම්මාගේ හඩයි.මට උඩ විසි වී ඇහැරිණ.

              "රුවිනි වහ බීලලු..." ඉන් පසුව අම්මා කී වදන් සමඟම මා ඇදේ ඉදගත්තා.

             "දෙයියනේ මොකුත් වෙලා නෑ නේද?" මං ඉන් පසුව ඇසූ පැනයට ඇය මඳක් සිහින් ස්වරයෙන්,

           "ඒ කෙල්ල නැති වෙලා පුතේ...." 

              කී විගසම මා සිතට වේදනාව මුසු වූ කෝපයක් හට ගැණිනි.මෙය සිදුව ඇත්තේ මගෙ වයසේම මාත් සමඟම පාසලට එකම බස් රථයේ ගොඩ වී ගිය මගේ මිතුරියක්ටය.දින කීපයකට පෙර ඇය අපත් සමඟම පාසල් ගිය සැටි මට මතකය.ඇය දිවි නසා ගැනීම සිදු කර ගත්තේ අප දහය වසරේ ඉගෙන ගත් කාලයේය.මෙය මුලු ගමම කම්පා කරවූ මරණයක් විය.
                 මා ඉක්මනින් නැගිට දැන් කල යුත්තේ කුමක් දැයි සිතන විට පන්තියේ සිටි තවත් සිසුවෙක් මා සොයා පැමිණියහ.ඔහු පන්තිභාර ගුරුතුමාටත් අපේ තවත් සිසුන් කිහිපදෙනක්ටත් මේ පිළිබඳව දන්වා හමාර කර ඇත.මෙයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මා මෙන්ම ගම්වාසී සියල්ලෝම දනී.එබැවින් ගම පුරා ශෝකය පැතිර ගොස් තිබුණි.
                ඇය මුළින්ම අප පන්තියට ආ දවස මට මතකය.දිගු කොන්ඩ කරල් දෙකක් බැඳ මුවින් සිනහව පුරවාගෙන ඈ ආවේ පහ වසරට ය.ඇය සැබැවින්ම පාසලේ නාමය රැක ගත්තේ පහේ පන්තියේ සිටමයි.අප කිසිවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් නොවීය.නමුත් ඇය සමත් වී ඇත.ඇයට උදෑසන රැස්වීමේ පැසසුම් ලැබුනේ පාසලේ විදුහල්පතිතුමගෙනි.ඉගෙනීමට ඉතා දක්ෂ මෙන්ම අප කිසිවෙක් තුළ නොවූ උනන්දුවක් ඇයට විය.එයට හේතුව අප ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා අඩු වීම නිසාවෙන් බව මා සිත මේ වනවිටද පවතින මතයයි.මේ උනන්දුව ඇය තුළින් ප්‍රදේශය මාරු වුවද මඳක් හෝ වෙනස් වූයේ නැත.

              "ඔය කෙල්ලව මෙහෙ හෙනාවෙ ඒ මිනිහට වෙන කරන්න දෙයක් නැතුවට.ළමයි දෙන්නෙක්ට වන්දි ගෙවන්න බැරි හින්දා..." 
               
               එහෙම කිවුවෙ ගමේ ගැහැනියක්.ඇගේ මළගම මොහොතේය.දැන් ඇය කරන්නට හැකිව තිබූ දෙය කරගෙන හමාරය.

               "තමන්ගෙ අම්මා නැතුව වෙන මොකා ළඟ හිටියත් වැඩක්ද?"

               අපේ අම්මා මා සමඟ එසේ කියමින් එතනම සිටි කාන්තාවක් සමඟ කතාවට එක් විය.ඇත්ත.තමන්ගේ අම්මා ළඟ නොවීමෙන් ඈ ලද අවාසනාවන්ත ඉරණමයි මේ.

               නවය ශ්‍රේණියට පමණ අප පැමිණි කාලයේ දිනක් අප සමඟ නාන්නට ඇලට ගොස් සිටි නැන්දා කෙනෙක් අපේ අම්මා සමඟ කී කතාවක් මට සිහි වෙයි.

              " ඒ ළමයා තමා ගෙදර එවුන් ඔක්කොගෙම රෙදි හෝදන්නෙ.වැවේ දවසක් රෙදි හෝද හෝද ඉන්නකොට මං කතා කරලත් ආවෙ."
                ඇය පවුලේ සියල්ලන්ගේ කුණු කෙතරම් හෝදන්නට උත්සහ කළද ඵලක් නැත.ඔවුන් කොතරම් හේදුවද කුණු නැවත උලාගන්නවා ඇත.

             ඇය පාසල් පැමිනෙණ දින ගණන සතියට දින දෙකක් නැතහොත් එකක් ඇතැම් සතිවල එක දිනක් හෝ නොයෙන තත්වයට පත් විය.මෙයට හේතු විමසන්නට පන්තිභාර ගුරුතුමා මාර්ගයෙන් මා ද විදුහල්පතිතුමා අභියසට ගියහ.සියලු කාරණා පිළිබඳව දැනුවත්ව සිටි විදුහල්පතිතුමා තවදුරටත් සත්‍ය අසත්‍ය බව විමසීමට ඒ නිවස අසල නිවෙසක පාසල් යන සිසුවියක් ගෙන්වා ඇත.මා තරමක් වැඩිහිටි පන්තියක සිසුවියක් නිසා මා කැඳවන්නට ඇතැයි සිතමි.
             "සර්,ගෙදර උයන්නෙ වළං හෝදන්නෙත් දැන් ඒ අක්කා තමා..."
                  එසේ කී සිසුවිය නැවත පන්තියට යැවීමට විදුහල්පතිතුමා ක්‍රියා කළහ.මේ නිවසේ පවතින විශේෂත්වය වන්නේ අපේ වයසේම තවත් දැරිවියක් ඒ අම්මාට සිටීමයි.මොවුන් නිවුන් දරුවන් නොවන්නේ අම්මලා දෙදෙනෙකුගේ දරුවන් වීම නිසාවෙන් ම පමණක් නොවේ යැයි මා සිතමි.ඇයට වඩා හාත්පසින්ම වෙනස් ගතිගුණ මෙන්ම රූ සොබාවක්ද හිමි ඇගේ සොහොයුරිය නිවසේ කිසිවක් නොකර නිදහසේ කාලය ගතකරනවා මෙන්ම ඉදහිට රුවිනී ගුටි කෑ අවස්ථාවක් වේ නම් ඒ ඇගේ කේලමක් අසා බව කවුරුත් දන්නා කරුණකි.

               මිතුරන්ද සමඟින් අප මළගමට ගිය මොහොතේ ඇගේ කුඩම්මා පෙනෙන්නට සිටියේ නැත.අප සියල්ලෝම සිතින් ඒ මොහොතේ කෙතරම් ඒ ගැහැනියට දෙස් දෙවොල් තියන්නට ඇතිද.මළසිරුරේ තොල තුවාල වී ඇතිබවක් හොදින් පෙනේ.අප ඒ පිළිබඳව පසුව කතා කළ අයුරු මතකය.

            "හවස ඒකිට ගහලා බං.එතකොට තුවල වෙච්ච එකක් වෙන්න ඇති."

              සිද්දිය පිළිබඳ වූ ආරංචියේ එසේ පැවතුණි.අපේ තාත්තා දිනක් කුඹුරට යන අතරමඟ ඇය එළුවන් දක්කාගෙන වැව් ඉස්මත්තේ සිටිනු දුටු බව දිනක් කීවා මට මතකය.එම නිවසේ එළු ගාලක් නුදුරින් පිහිටා තිබෙනු දුටු මට සිහි විය.මෙසේ දුක් විඳි ඈ මේ දිවිය හැර දා යාම යම් ලෙසකට ඇය ආත්මය තුළින්ම ලැබූ සහනයක් යැයි විටෙක මට සිතෙයි.
      
              ඇය දිවි නසා ගැනීමට වස පානය කර ඇත්තේද කලයට වතුර ගෙන ඒමට ගිය මොහොතකය.කලයත් ඉන තියාගෙන මිදුලට ම අසීරුවෙන් පැමිණ කලයත් සමඟම බිම ඇද වැටී සිටි බව ගම්මුන් කතා විය.කෙතරම් ඛේදනීය සිදුවීමක්ද.මෙවැනි ඉරණමක් තම දරුවාගේ වයසේම දරුවෙකුට සිදු වනතුරු බලා සිටිය හැකි හැගැනුන් සිටියි ද? මට තවමත් මිනිස් සිත් තුල පවතින විෂමතාව පිළිබඳව වටහා ගත නොහැකිය.එය එතරම් ගැඹුරු වේ.

              පන්තියේ සිටි ළමුන්ගෙන් කාණ්ඩ විෂයන් අතරින් වාණිජ විෂය තෝරාගෙන සිටි සිසුන් හය දෙනා අතර මා ද ඇය ද විය.ඒ ඇයගේ දක්ෂතාවය ඔප්පු වන තවත් අවස්ථාවකි.එම විෂය යටතේ පැවති තරඟාවලි සදහා ඇය සම්බන්ධ විය.නමුත් ඇය පන්තියේ දහවෙනියා වූයේ අවාසනාවන්ත ලෙසය.නමුත් ඇය එම ස්ථානය ලබා ගත්තේද පාසලට සතියට දිනක්, දින දෙකක් ආදී පැමිණීමක් තිබූ කාලයකය.

               අපේ පාසලේ සියලු ම ගුරුභවතුන් මළගම සදහා  අවසන් දින සහභාගි විය.එදින අපේ සිංහල ගුරුතුමා විසින් කළ කතාව ගම්වාසීන් හඬවා කදුලින් නැහැවීමට සමත් විය.අපේ ගුරුතුමාද මඳක් නිහඩව සිට නැවත කතා කළ අවස්තාවේ ඔහු කී වදන මෙහි සදහන් කිරීම වටියි.

               "අද අපෙන් මේ විදිහට වෙන් වෙලා යන්නේ කවදහරි මේ පවුලටත් රටටත් මේ අම්මටත් ලෙඩ දුකට පිහිට වෙන්න හිටිය අනාගත දොස්තර නෝනා කෙනෙක් වෙන්නත් පුලුවන්...."


        °°°°  ස්තූතියි....  🙏 
***දුලී ♥️ 
                                 
       

Comments

Post a Comment

Popular posts from this blog