නොනිමි පහන්

 ***************************************

නොනිමි පහන්

****************************************


                        මහත්තයෝ.....නැගිටින්න...

                මං කිරි කෝප්පය මේසේ උඩින් තියමින් එයාට කතා කළා.ජනේලය තුළින් වැටෙන හිරු කිරණ ඔහුගේ මුහුණටද වැටී අමාරුවෙන් ඇස් අරින විට මං හැමදාම හිනාවුණා.

                    අනේ ළඟට එන්නකෝ...අපි තව ටිකක් නිදාගමු....

                  නිවාඩු දවසට ඔහු හැමදාම කියන්නේ මේ  වචන ටිකම ය.මා ද  පුරුද්දට මෙන් උදෑසන අවදි වුවත් ඔහුගේ වදනට කීකරු වෙමින් තුරුල් වී නිදන්නට ඇත්තේ පුදුමාකාර ආසාවකි.මේ ඉන්නේ මගේ හිරු ය.ලෝකයට ආලෝකය ගෙන සියල්ල පන ගන්වන්නේ හිරුය.ඉතින් මගේ ජීවිතයටද ආලෝකය ගෙන ආ හිරු මොහුය.අප විවාහ වී දැනට වසරකට ආසන්නය.තවමත් මා ප්‍රේමය තුළින් දුටු ඔහු ම පවුල් ජීවිතය තුල ද ජීවත් වීම සතුටට කරුණකි.මා විඳි වේදනාකාරී ජීවිතයේ ගැලවුම්කරු ඔහුය.එය මා කියන්නේ මහත් අභිමානයෙනි.මෙතරම් වර්ණනා කරන මගේ සැමියා නමින් සාගර කුලසූරිය වේ.ඔහු  දැනට අපේම කියා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ජීවිතය අලුතින් අරඹා ඇත.ඊට අමතරව මා ගුරු වෘත්තීයේ නියැලී සිටියි.අප මෙසේ ඉර එළිය කාමරය තුලට එබෙන තුරු නිදා ගන්නේ සති අන්තයේ පමණි.විශේෂ වැඩක් නොයොදා නිවසේම ගත කිරීමට අප සති අන්තයේ කටයුතු කරන්නේ එකිනෙකා සමඟ ඇති බැදීමට ඉඩ හසර වෙන් කරමිනි.

                          නමුත් අද විශේෂ ගමනක් සවස් යාමයේ යොදාගෙන තිබේ.මට මේ වස්තුව තිළිණ කර කිසිත් දොසක් නොකියා මට තම දරුවාට මෙන්ම සලකන ඒ නැන්දම්මා බැලීමටය.ඇය තවත් නැන්දම්මා කෙනෙක් නොවේ.මගේ ම මව වැනිය.ඔවුන් ඉන්නේ එතරම් දුරක නොවේ.නමුත් නිවාඩු දිනක සවස්වරුව ඔවුන් සමඟ ගත කරන්නට අප පෙරුම් පුරයි.

                         ඔයාලා මාව අත්තම්මා කෙනෙක් කරනකල් මං මේ බලාගෙන ඉන්නෙ.මැරෙන්න කලින් මට දරු පැටියෙක් බලලා මැරෙන්න තිබ්බොත් ඇති....

                       අපි දෙදෙනාගේම ඇසට ඇස ගැටුණේ එවිටය.

                  මාත් මේ තාත්තෙක් වෙන්න තමා බලාගෙන ඉන්නේ.....

                   අම්මා පින්බර සිනාවක් පෑවාය.සාගරගේ මහුණේ එය කියන විට පවා ඇති වූ අමුතු හැඟීම මා සිත කුල්මත් කලේය.


              අප්පච්චි එනවා මං තේ ලෑස්ති කරන්නම්......

                       කියමින් මා කුස්සිය වෙත පියමනින්නට විය.එහි ගිය විට එහි වගකීම් මා පිටට ගැනීමෙන් මා අසීමිත සතුටක් වින්දාය.ඒ දෙස බලා සිටින අම්මාත් සාගරත් එම සතුට විඳිනයුරු මා ඕනෑ තරම් දැක තිබේ. 

                     සවස තේ පානයෙන් අනතුරුව මමත් සාගරත් නිවස බලා යාමට පිටත් විය.

                    ඔයා අම්මට අර වගේ කිවුවෙ ඇයි.දැන් ඉතින් අම්මා මං ප්‍රෙග්නන්‍ට් කියවා අහන්න බලාගෙන තමා ඉන්නෙ.....ඔන්න බලන්නකෝ කෝල් කර කර ඕක අහයි....

                     ඉතින් මොකද ළඟදීම මගෙ මැණික අම්මා කෙනෙක් වෙනවනෙ....මං බොරු කිවුවේ නෑනේ.....

                     ඒ සතුට දෝර ගලන ඇස් මගේ මතක පිටු සිය ගානක් පිටුපසට පෙරලුවා.

                       උබට ඔහොම වුනේ මං හින්දද...යකෝ උබට ඕක තේරුනේ නැති එකට දැන් මං පලිද...උබට තිබ්බනෙ එපා කියන්න.දැන් හරියට උබ කතා කරන්නෙ මගෙ උවමනාවට විතරක් මේ දේවල් වුණා වගේනේ......       

                     අනේ මට දැන් ඔහොම කතා කරන්න එපා.මේකට විසඳුමක් කියන්න දෙයියෝ.....

                     ඔහු ඇමතුම විසන්ධි කරනු ලැබීය.මා තනිවූ බඩ දරු අම්මා කෙනෙක් බවට පත් වී ඇත.මෙය කාගේවත් වරදක් නොව මගේම වරදක් ය.ඔහු සුජීව නම් විය.පාසල් ප්‍රේමය දුර දිග ගොස් උසස් පෙළ අවසන මා මෙලෙස ගැබ්බර වූයේ ඔහුගේද වරදින් නොවේද.....                

                       එන්න මැණික අපි අද රෑට මොනවද උයන්නේ....                    

                     නිවාඩු දිනයේ සාගර මා සමඟ උයන්නට එන්නේ උදව්වට වඩා මා සමඟ කෝලම් කිරීමටයි.ඒවා බලමින් සිනාසෙමින් අප රාත්‍රී ආහාර සූදානම් කර ගන්නා විට රාත්‍රී නවය පමණ වේ.මෙතරම් නිදහසක් සහනයක් මා සිතට ගෙන ආවේ ඔහුයි.රාත්‍රී ආහාරයෙන් පසු සාගර සමඟ තුරුලට වී චිත්‍රපටයක් නැරඹීමට මා ප්‍රිය කළා.ඔහුත් එසේමය.අප පෙම් බැඳි මුල් කාලය මට මතකය.

                     මට ඔහුව හමු වූයේ මාගේ මිතුරියකගේ මාර්ගයෙනි.ඇය මගේ ජීවිතය පිළිබඳ සියල්ල හොදින් දැන සිටියාය.නමුත් එය වෙනත් අයෙකුට නොකියා මගේ චරිතය රැක ගැනීමට ඇය වෙහෙස වූවාය.ඇය සැබෑම මිතුරියකි.අදටත් ඒ මිතුදමේ ශක්තිමත් පුරුක් නොබිඳී මා සමඟ තිබේ.

                    සාගර....මට සමවෙන්න.මං මේ දේවල් ඔයාට නොකියා ඔයාව රවට්ටලා මොකුත් නොදන්න ගානට හිටියොත් ඒක ලොකු වංචාවක්....

                     මා එසේ මගේ කතාව සාගර කියන්නට පටන් ගත් මොහොත මට මතකය.

                   කියන්න මැණික.ඔයාට මොකද්ද තියෙන අවුල කියලා.....

                          ඒ තරම් නිවී මගේ කතාව අසා සිටින්නට ඔහු තුළ තිබූ ශක්තිය පිළිබඳ අදටත් මා තුල ඇත්තේ විශ්මයකි.එක අතකට මා වැනි තරුණියකට වෙන කළ හැක්කක් නොමැති බව ඔහු සිතන්න්ට ඇත.එදින ඔහු මා තුරුල් කරගෙන කෙතරම් හැඬුවාද....ඒ කදුලු උපන්නේ මා පිළිබඳව වූ අනුකම්පාව නිසාවෙන්ද මා ගැන තිබූ උතුරා යන ආදරය නිසාවෙන්ද කියා වෙන්කල නොහැකි විය.

                      ඔන්න හරිනෙ.දැන්වත් ඔය කියවිල්ල නවත්තගෙන ඉන්නවා.මට ආයෙ මොකුත් කියන්න එන්න එපා.....

                       සුජීව එදා ඒ කී වදන් මා ඔහුට කීවානම් තවත් ඔහුට ඉවසුම් නැතිවනවා නියතය.

                         මගෙ ළඟ තිබ්බ සල්ලියි තව එයාගෙ ළඟ තිබ්බ සල්ලියි කොහෙන්ද මන්දා තව ඉල්ලගෙන තමා මට බෙහෙත් ගෙනත් දුන්නෙ....ඊට පස්සෙ මං ඒවා බිවුවා මහත්තයෝ......මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑනේ.එයාට මාවවත් වැඩක් තිබුනේ නෑ ඒ වෙද්දීත්.ඉතින් මගෙ බඩේ ඉදපු ළමයා බලන්නට එයාට ඕනි වෙයිද....එයා වෙන කෙනෙක්ව බැන්දත් එක්ක....

                       තවත් මොකුත් කියන්න එපා මැණික.....ඕක නවත්තන්න.මට ඔය කතා වැඩක් නෑ දෙයියෝ....මං ඔයාව දාල යන්නේ නෑ.එහෙම කරොත් මාත් වූ වගේ ම අමුනුස්සයෙක් වෙනවා.ඔයා මට හැමදේම කිවුවේ ඔයාට මාව විශ්වාස නිසානේ.මං ඒ විශ්වාසේ රකිනවා රත්තරනේ.....

                         හැමදේම අමතක කරලා මගෙ හිත හදාගන්න එයා මට ගොඩක් උදව් කළා.මං කවදාවත් හිතුවෙ නෑ මට කසාදයක් තියා ආදරයක්වත් ලැබෙයි කියලා.මං තනි වෙලා ජීවත් වෙන්න හිතාගෙන හිටියේ.ඇත්තටම මගේ තත්වය තේරුම් ගන්න අද කාලේ ගොඩක් අයට බෑ.වැරදිකාරියක් වෙන්න පුලුවන්.ඒත් හැමදාම ඒ වරදෙම එතිලා ඉන්න සලස්වන්නේ සමාජය කියලයි මට හිතෙන්නේ.කවදාවත් ඒ වැරැද්ද හදාගන්න අවස්ථාවක් සමාජය අපිට දෙන්නේ නෑ.කලාතුරකින් සාගර වගේ මිනිස්සුත් මේ ලෝකේ තාමත් ඉතුරු වෙලා ඉන්නවා.                    

                        සාගර වගේ ප්‍රේමවන්තයෙක් මට මුණගැහුනු නිසා මං දැන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා.එයාට මගෙ අතීතයේ වෙච්ච කිසිම දෙයක් අපේ බැඳීමටවත්, විවාහයටවත් බාධාවක් වුණේ නෑ.ඒකයි මගේ ජීවිතේට පායපු ඉර එයා වුණේ.

                               මහත්තයෝ.....ඔන්න මගේ මහත්තයා බලන්න පැටියෙක් ළඟදීම එනවා.....ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ......                                

                       සතියක් පමණ ගත වීමෙන් අනතුරුව මා කී වදන් ඇසූ සාගරට කියාගත හැකි වූයේ,

                    ඔය ඇත්තමද දෙයියෝ.....

         කියා පමණි.             

                              බිමින් තියන්න......බිමින් තියන්න.....තාත්තාගෙ දාංගලේ පුතාටත් යයි....

                        සිනාසෙමින් මා ඔසවාගෙන කැරකෙන සාගරගේ සතුට නිම්හිම් නැති විය.ඒ සතුට අතර සෑමදා රැදෙන්නට මා පෙර භවයක කළ පුන්‍ය කර්මයක් හේතු වන්නට ඇතැයි මා සිතමි.

*********************************************

____සමාප්තයි____

ස්තූතියි 🙏 

                 ***දුලී ♥️ 

       

Comments

  1. Lassana kathawak 😍😍😍😍

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න ❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කටු පදුරෙ පිපි කුසුම 🌵🌸